අපගේ දැක්ම
නූතන තාක්ෂණයට හා අවශ්‍යතාවයන්ට අනුගත වෙමින් විශිෂ්ඨතම මහජන සේවා සපයන රාජ්‍ය ආයතනය බවට පත්වීම.අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව සම්පත් මනා සම්බන්ධීකරණය, කළමණාකරණය තුළින් ඵලදායී, තිරසර සංවර්ධනයක් ඇති කිරීම.පදවිය වැවට පිවිසෙන විට මොරඔය ලෙස හැඳින්වෙතත් වැවෙන් පිටවන විට මා ඔය ලෙස හැඳින්වෙන, අවසානයේ කෝකිලායි කලපුව වෙත ගලා බසිනා ප‍්‍රදේශයේ පවත්නා ප‍්‍රධාන ඔය හරහා ඉදි කර ඇති ඓතිහාසික ගල් පාලමේ නටඹුන් කොටසට ආසන්නව වැලිඔය බලසේනා මූලස්ථානය පිහිටා ඇත. වැලිඔයට පිවිසීමට සිදුවන්නේ මෙම මූලස්ථානය හරහා ය. ඒ සඳහා අනුරාධපුර සිට පැමිණ මැදවච්චිය කැබිතිගොල්ලෑව පදවිය හා පරාක‍්‍රමපුර පසු කර පැමිණීමට සිදු වේ.
නම ලැබීම.
මා ඔය හෙවත් මොර ඔය හරස්කර පදවිය වැව ඉදිකොට ඇත. මා ඔය පහල කොටස ඔස්සේ පදවිය වැවේ පිටාර ජලය කෝකිලායි කලපුව වෙත ගෙනයයි. වැලිඔය, මා ඔය සහ මානල් ආරු ගංගා නිම්න දෙකෙන් පෝෂණය වන ඉතා සශ‍්‍රීක භූමියකි. මනල් ආරු හෙවත් මනලාරු, නයාරු කලපුවෙන් මුහුදුට එකතු වේ. එබැවින් නයාරු ලෙස ද මෙම මනලාරු ගංගාව හැඳින්වේ. මෙම ගංගාව පාදක කරගෙන වැලිඔය ලෙස මෙම ප‍්‍රදේශය නම්කර ඇත. දෙමළෙන් මනල් යනු ‘වැලි’ ය. ආරු යනු ‘ඔය’ යි. එබැවින් මනලාරු (මනල් + ආරුඑ) යනු සිංහලෙන් වැලිඔයයි.
හැඳින්වීම.
ශ‍්‍රී ලංකාවේ උතුරට යන්නට වවුනියා, මුලතිව්, ත‍්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත‍්‍රික්ක වලින් මැදි වූ ඉහත කී අනුරාධපුර හැර අනෙක් දිස්ත‍්‍රික්කවල කොටස් එකතු කරමින් අරම්භ කර ඇති ග‍්‍රාම නිළධාරී කොට්ඨාශ 09 කින් සමන්විත වූ මුලතිව් දිස්ත‍්‍රික්කයට පරිපාලනය පවරා ඇති ප‍්‍රදේශය වැලිඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ලෙස හඳුන්වයි. මුහුදු මට්ටමේ වඩාත් ළඟින් පිහිටි මෙම ප‍්‍රදේශය කඳුගැට, ඔය, වන සම්පත් අතින් මහත් සම්පත් උසුලන ඓතිහාසික පුරාවිද්‍යාත්මක නෂ්ඨාවශේෂවලින් සහ රතු පසකින් යුත් සාර වූ බිමකි. පදවිය වැවෙන් පිටාර ගලන ජලයත් මා ඔයෙන් ගලනා ජලයත් එක්ව වැලිඔය ලෙස ගලනා ඔය නිම්නය ආශ‍්‍රිතව ඇති ජනාවාස පිළිබඳව නිශ්චිත පුරා විද්‍යාත්මක කරුණු හමු නොවේ. රතු මිශ‍්‍ර පසින් හා හරිත වර්ණයෙන් දිදුළන වනාන්තරයකින් හෙබි වැලිඔය නිම්නයේ මෑත කාලීන ඉතිහාසය 1983න් පසු ඇති වූවකි. 1983 වර්ෂයෙන් ඇරඔි ජනපදකරණයත් 1988 මහවැලි ව්‍යාපාරය ලෙස සංවර්ධන කටයුතු ඇරඹීමත් සමග වර්තමානයේ වැලිඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ලෙස හැඳින්වේ.
ඓතිහාසික පසුබිම.
රුහුණු, මායා, පිහිටි වශයෙන් පැරණි සිංහලය බෙදී පැවැතුණි. ඊට ප‍්‍රථම මහවැලි ගඟින් උතුරු පෙදෙස රජරට නමින් ද එයින් දකුණු පෙදෙස රුහුණු රට (රෝහණය) නමින් ද මධ්‍යම කඳුකරය මළය වශයෙන් ද පැවැතුණි. රාජ්‍යත්වය පහළ වූ වකවානුවේ රජරට පාලන ප‍්‍රදේශය පස්ස යන නමින් ප‍්‍රදේශ 04කට බෙදා පැවතුණ බව පෙනේ. අනුරාධපුර අග නගරයෙන් දකුණු දෙස දක්ඛිණ පස්ස ලෙසත් නැගෙනහිර දෙස ප‍්‍රාචීණ පස්ස ලෙසත්, බටහිර දෙ පච්ඡිම පස්ස ලෙසත්, උතුරු දෙස උත්තර පස්ස ලෙසත් ය. මෙයින් උත්තර පස්සයට අයත් භූමි ප‍්‍රදේශය වශයෙන් වර්තමානයේ සුළු සුළු වෙනස්කම් ඇති වුව ද වවුනියා මුලතිව්, කිලිනොච්චි, මන්නාරම්, යාපනය යන දිසා අයත්ව තිබූ බව පෙනේ. වවුනියාවේ තෝනිගල සෙල්ලිපියේ උත්තර පස්ස යන්න මෙන්ම මන්නාරම් සෙල්ලිපියෙහි උතුරු කරායේ යන නම් ද යෙදී තිබීමෙන් එය පැහැදිළි වේ. එසේ ම මෙම ප‍්‍රදේශය රජරට පාලකයාගේ අණසක යටතේ දිගින් දිගට ම පාලනය වූ බව පෙනේ.
කාවන්තිස්ස රජු යටතේ ස්වාධීනව පැවති මුළු රෝහණ දේශයත් එළාර රජු යටතේ පැවැති රජරට ඇතුළු මුළු දිවයින ම දුටුගැමුණු මහ රජු (ක‍්‍රි.පූ. 161 - 137) යටතේ එක්සේසත් විය. එසේ ම සකල සිංහල චක‍්‍රවර්ති ලෙස හැඳින්වූ මහා පරාක‍්‍රමබාහු (පොලොන්නරු යුගය) රජ දවස ද (ක‍්‍රි.ව. 1153-1186) රට එක් සේසක්ව පැවැතුණි, වර්තමානයේ 223 බළසේනා මූලස්ථානයෙන් අසලින් ගලා බසින මා ඔය පාලමේ සිට මද දුරක් ඔය දිගේ ඉදිරියට ගිය විට පුරාණයේ ගල් පාලමක් හමු වේ. එය දිවන්නොව්ව පාලම ලෙස හඳුන්වන බවත්, පරාක‍්‍රමබාහු රජුගේ සළුපිළි සේදූ වන්නොව්ව නම් කාන්තාවට ගම්වරයක් ලෙස වැලිඔය ලබාදුන් බවත් ජනප‍්‍රවාදයේ පවතී. එසේ ම දඹදෙනි රාජධානිය හෙබවූ දෙවන පැරකුම්බා මහ රජු (ක‍්‍රි.ව. 1236-1270) යටතේ ද කෝට්ටේ යුගයේ දී 6 වන පැරකුම්බා (ක‍්‍රි.ව. 1412-1467) රජු හා 6 වන බුවනෙකබා නමින් රජ වූ සපුමල් කුමරු (ක‍්‍රි.ව. 1470-1478) යටතේ ද සීතාවක රාජ්‍ය යුගයේ දී පළමු වන රාජසිංහ රජු (ක‍්‍රි.ව. 1581-1592) යටතේ ද මහනුවර යුගයේ දී පළමුවන විමලධර්මසූරිය නමින් රජ වූ කොනප්පු බණ්ඩාර (ක‍්‍රි.ව. 1592-1604) යටතේ ද මේ ප‍්‍රදේශය පැවැත් බවට ඓතිහාසික සාධක පවතී.
වර්තමානයට එළඹුම.
මෑතකාලීන ඉතිහාසය දෙස බලන විට 1950 දශකයේ අවසාන වසර කිහිපයත් 1960 දශකයේ ආරම්භක වසර කිහිපයත් වැලිඔය ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාව ලෙස හඳුනාගත හැකි ය. කෙසේ වුවත් පදවි ව්‍යාපාරයේ ජනතාව එගොඩ යනුවෙන් හැඳින්වූ මෙම ප‍්‍රදේශය වැලිඔය ලෙස කරලියට පැමිණෙන්නේ 1984 න් පසුව ය. අවිධිමත්ව ආරම්භ වන වැලිඔය ව්‍යාපාරය විධිමත් ජනපද ව්‍යාපාරයක් බවට පරිවර්තනය වීමේ ක‍්‍රියාවලිය සුවිශේෂ අවස්ථා දෙකක් ඔස්සේ විග‍්‍රහ කළ හැකි ය. එනම්.
- 1984 ට පෙර අවධිය
- 1984 න් පසු අවධිය.
1984 වන විට රජය විසින් වැලිඔය රජය සතු ඉඩම් විසි අවුරුදු පදනමට දමිළ මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයන්ට ලබා දී තිබුණු අතර මෙම ව්‍යාපාරිකයන් විසින් මහා පරිමාණ ගොවිපොළවල් ඇති කර තිබුණි. ඒවා අක්කර 25-1000 අතර ප‍්‍රමාණයේ වූ බව කියවේ. එසේ පිහිටවූ ගොවිපළවල් කිහිපයක් නම්,
- සිලෝන් තියටර්ස්
- ඩොලර් ෆාම්
- කෙන්ට් ෆාම්
- මානික්කම් ෆාම්
- බයි ෆාම්
- කාගෝ බෝර්ඞ්
- සිස් පැච් ගෲෂි
- රේල්වේ ගෲෂි
- පෝස්ට් මාස්ටර් ගෲෂි
- බුරාගේ ෆාම්
එසේ ම පදවිය ව්‍යාපාරයේ ජනයා හේන් ගොවිතැන් සඳහා සංක‍්‍රමණය වීමත් සිදුව තිබුණි. 1979 න් පසු දමිළ ජාතිකයන් හා සිංහල ජාතිකයන් අතර සුහදත්වය ක‍්‍රමයෙන් අඩු වූ අතර දමිළ ව්‍යාපාරිකයන්ට බදු දුන් ඉඩම්වල බදු කාලය සම්පූර්ණයෙන් අවසන්ව තිබූ නමුත් එකී ඉඩම් නියමිත පරිදි රජයට ආපසු බාර දී නොතිබුණි.
1984 වන විට රටේ ආරක්‍ෂක වාතාවරණය අයහපත් ව පැවතුන අතර ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් 1984 ජනවාරි මාසයේ දී වැලිඔය ව්‍යාපාරය සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. ඊට සමගාමීව ජනාවාසකරණය ද සිදුවිණි. 1984 ජූනි මාසයේ දිඹුලාගල නායක ස්වාමින් වහන්සේ විසින් රැගෙන ආ පිරිසක් නිකවැව හා ඇතාවැටුණුවැව ගම්මානයන්හී තාවකාලික පැල්පත් සාදා පදිංචි කරවීම සිදුවිය. වැලිඔය ව්‍යාපාරය තුළ මුල් පදිංචිකරුවන් වන්නේ එම පිරිසයි.
1984 අගෝස්තු 15 දින වැලිඔය ජනපද ව්‍යාපාරයක් ලෙස අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීමත් සමගම ඉඩම් සංවර්ධනය හා පදිංචි කරවීම ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතට පත් කෙරුණි. අවිධිමත්ව ඇරඹි මෙම ව්‍යාපාරයට විධිමත් භාවයක් ලැබුනේ මෙමගිනි. ඉඩම් කටයුතු ව්‍යාපාර අධිකාරිවරයකු යටතේත් ඉඩම් මැනුම් කටයුතු මිනින්දෝරු දෙපාර්තමේන්තුව යටතේත් සිදු විය.
1984 අගෝස්තු සැප්තැම්බර් මාසවල දී ඇහැටුගස්වැව හා කල්‍යාණපුර ගම්මානත් 1985 ජනවාරි මානයේ දී ගජබාපුර, මොණරවැව හා කල්‍යාණපුර III පියවරත් (හැටේ කෑල්ල) 1988 ජනකපුර ත් පවුල් පදිංචි කරවීම සිදු කෙරුණි. මෙලෙස වැලිඔය ව්‍යාපාරය තුළ 1988 වන විට පවුල් 3364 ක් පදිංචි කර ඇත. 1988 අපේ‍්‍රල් මස පළමු වන දිනෙන් පසු වැලිඔය සංවර්ධන කටයුතු ‘එල් කලාපය’ නමින් ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියට පවරා දෙන ලදී. 1984 වර්ෂයේ සිදු වූ නිදහස් සිරකරුවන් ඝාතනයේ සිට 1985, 1986, 1999 වසරවල සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාර නිසා ගජබාපුර හා මොණරවැව ගම්මාන අහිමි වීමත් සිදු විය.
1997 සිට සේවය කළ ප්‍රාදේශීය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| බී.ඒ ධනපාල මහතා | 1997.06.21 | 2006.03.01 |
| ඩබ්.එම්.ඒ.පී.පී.වන්නිනායක මහතා | 2006.06.30 | 2007.01.05 |
| නිරෝෂන කරුණාතිලක මහතා | 2006.01.05 | 2009.07.14 |
| කේ ආර් ගන්ගෙදර මහතා | 2009.07.14 | 2010.02.05 |
| ආර්.එම්.එන්.එස්.කාන්චන මහතා | 2010.02.05 | 2011.03.01 |
| ඩබ්.දීපාල් නිශාන්ත සිරිමාන්න මහතා | 2011.02.08 | 2011.09.02 |
| ඩබ්.දීපාල් නිශාන්ත සිරිමාන්න මහතා | 2013.09.03 | 2025.11.16 |
| ආර්. නිශාන්තන් මහතා | 2025.11.17 | 2026.01.07 |
| එස්. ක්‍රිෂ්ණවදනා මහත්මිය | 2026.01.08 |















